මරණයට අතවනන ඩෙංගු

මැයි 22, 2023

    ඩෙංගු මර්ධන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් මේවනවිට අදාළ අංශ වෙත ලබාදී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

    ඒ අනූව, වයඹ පළාත සඳහා අද (22) සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.

    අද සිට ලබන 28 වැනිදා දක්වා මෙම ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක බවයි, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය ඉන්දික වීරසිංහ මහතා සඳහන් කළේ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

    එසේම, දිවයින පුරා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 370 අතරින් ඩෙංගු වැඩි අවධානමක් සහිත කොට්ඨාස 39 ක් හඳුනාගෙන ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කරන්නේ.

    මෙම වසරේ මේ දක්වා ඩෙංගු මරණ 22 ක් වාර්තාවන බවත් නිසි අවස්ථාවේ වෛද්‍යවරයෙකු හමුවීම හා රෝහල්ගතවීම මඟින් මරණ සංඛ්‍යාව අඩුකරගත හැකි බවත් ඇය සඳහන් කළා.

    නිවෙස් ආශ්‍රිතව 0.4% ක් සහ රාජ්‍ය ආයතන ආශ්‍රිතව 0.6% ක් ඩෙංගු මදුරු කීටයන් හමුවන බවත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර එම ස්ථාන පිරිසිදු කිරීම් කටයුතු කළ යුතු බවයි එහි වෛද්‍යවරිය වැඩිදුරටත් පවසන්නේ.

    Latest News