මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහය ලබා ගැනීමට ජනපති සැරසේ

මැයි 20, 2023

    මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ථෙරවාදී බුදුදහම පිළිබඳ හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපනයට නියමිතයි.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ, අද උදේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී. ප්‍රථමයෙන් මහනුවර මල්වතු මහ විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා, අති පූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද ලබා ගත්තා.

    ජනාධිපතිවරයා සඳහන් කළේ, තම ඉදිරි විදේශ සංචාරයේදී මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ආධාර ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.  අනතුරුව අස්ගිරි මහ විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහනායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැදැක පිළිසඳරක නිරත වුණා.

    උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඤායනා කොට ජනාධිපතිවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කළා. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News