කෘෂිකර්ම ඇමතිගේ මන්ත්‍රී වැටුප ඌණපෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ට වෙන්කරයි

ඔක් 03, 2022

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණයෙන් පෙළෙන ගැබිණි මව්වරුන්ගේ පෝෂණ කටයුතු නැංවීම සඳහා තම මන්ත්‍රී වැටුප යොදා ගැනීමට කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන තිබේ.

    මීට අමතරව තම හිතවතුන්ගෙන් ලැබෙන පරිත්‍යාග ද යොදා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

    මින් පෙර කොවිඩ් 19 වසංගත තත්ත්වය උත්සන්න වූ අවස්ථාවේ ද අමාත්‍යවරයා තම වැටුප කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් කොවිඩ් මර්දන කටයුතු සඳහා යෙදවීමට පියවර ගත්තේය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඌණ පෝෂණ තත්ත්වයෙන් පෙළෙන මව්වරුන් හදුනා ගැනීම අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සිදු කරන අතර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් විසින් ලබා දෙන තොරතුරු මත සෑම ගැබිණි මාතාවකටම රුපියල් 5000 පමණ වටිනා පෝෂණ ද්‍රව්‍ය ඇතුළත් ආහාර මල්ලක් බැගින් මාසිකව ලබා දීමට කටයුතු යොදා තිබේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බැගින් ලබා දීමේ වැඩ සටහනෙහි පළමු අදියර ඊයේ (02) සූරියවැව වැදිවැව පවුල් සේවා කාර්යාලයේ දී සිදු කෙරිනි. ඒ අනුව ගැබිණි මව්වරුන් 60කට පෝෂණ මල්ලක් බැගින් පීරිනැමුණු අතර ලබන 14 දින අගුනකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ සිටින ගැබිනි මව්වරුන් 500කට මෙම පෝෂණ මල්ලක් බැගින් ලබා දීමට ද නියමිතය.

    දැනට හදුනාගෙන ඇති පරිදි හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 12ක් තුළ ගැබිනි මව්වරුන් 6000ක් පමණ සිටින අතර එම සියලු දෙනාටම මෙම පෝෂණ මල්ලක් බැගින් ලබා දීම සිදු කිරීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.

    ඊයේ (02) පැවැති වැඩ සටහනට එක් වු අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

    ආර්ථික අර්බුදකාරි තත්ත්වය නිසා අද හැමෝම දුක් විඳිනවා. සමහරු හිතාගෙන ඉන්නවා දේශපාලකයින්ට ප්‍රශ්න නැහැ කියළා. ඒ වගේම දේශපාලකයෝ කියන්නේ තෙලෙන් කාලා කිරෙන් අත හෝදාගෙන ඉන්න ජාතියක් කියළා සමහරු අර්ථකතනය කරනවා. ඒක වැරදියි. මේ ආර්ථික අර්බුදය අනිත් අයට වගේම දේශපාලකයින්ටත් බලපා තිබෙනවා.

    හම්බන්තොට මන්දපෝෂණ තත්ත්වය ගැන අද විවිධ අදහස් පළ වෙනවා. හම්බන්තොට මන්දපෝෂණ තත්ත්වයක් නැහැ කියළා කවුරු හරි කිව්වොත් ඒක වැරදියි. ඒ වුනත් ඒ ගැන සඳහන් වෙන සංඛ්‍යාලේඛනවල නිවැරදිතාවය ගැන සොයා බැලීමක් කළ යුතුයි.

    රට අද පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම එකට එක්ව කටයුතු කළ යුතුයි. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කළේ ඒ නිසයි. නමුත් සමහර කණ්ඩායම්වල අරමුණ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම නොව කෙසේ හෝ බලය අල්ලා ගැනීමයි.

    ජනාධිපතිතුමා සෑම මන්ත්‍රීවරයෙක්ම එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බැගින් සම්බන්ධීකරණ කටයුතු සඳහා පත් කිරීමට තීරණය කළා. මන්ත්‍රීවරු 225 ම එකඟවුනා නම් රටේ සියලුම ජනතාවට පිහිට වෙන්නට තිබුනු අවස්ථාවක් බොහෝ දෙනෙක් මඟ හැරියා. ඒ වගේම මේ තරම් විශාල ඇමැතී මණ්ඩලයක් පත්වෙන එකත් වළක්වා ගන්න තිබුනා. නමුත් එම අවස්ථාවන් සියල්ලම ඇතැම් පක්ෂවල පටු අභිමතාර්ථ නිසා කඩාකප්පල් වුනා.

    හම්බන්තොට ගැබිණි මව්වරුන්ට පෝෂණ මල්ලක් බැගින් ලබා දීමට මම මගේ මන්ත්‍රී වැටුප මෙන්ම මගේ හිතවතුන් ලබා දෙන පරිත්‍යාගත් යොදවනවා. දැන් අපිට ඇමැතිකම් තිබුනත් ලැබෙන්නේ මන්ත්‍රී වැටුප පමණයි. ආර්ථිකය යහපත් වෙන තෙක් සියලු ඇමැතිවරු වැඩ කරන්නේ මන්ත්‍රී වැටුපටයි. මම මගේ මගේ මන්ත්‍රී වැටුප කොවිඩ් 19 ආරම්භ වූ වර්ෂයේ සිට ම එම අරමුදලට පරිත්‍යාග කළා.

    මේ වතාවෙත් රට පුරා සිටින ගැබිණි මව්වරුන්ට පිහිට වෙන්නට මට හැකියාවක් නැතත් මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින ගැබිණි මව්වරුන්ට පෝෂණීය ද්‍රව්‍ය සහිත ආහාර මල්ලක් බැගින් ලබා දෙන්නට පියවර ගත්තා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Latest News