හිටපු මුදල් ඇමති රවී කරුණානායකට එරෙහි බැඳුම්කර නඩුව

දෙසැ 01, 2021

    2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැදුම්කර වෙන්දේසියේ දී රුපියල් බිලියන 15 ක බැදුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මූලික විරෝධතා මතු කෙරණා.



    මෙම නඩුව අද අමල් රණරාජා, නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා මෙම විරෝධතා මතු කරනු ලැබුවා.

    ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් දේපල තහනම් කිරීමට නීතිපතිවරයා ගනු ලැබූ ක්‍රියා මාර්ගය නීතියට පටහැනි බව තර්ක කළා.

    බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව පදනම් කරගෙන මෙම නඩුව ගොනු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම නඩු කරය පදනම් විරහිත හෙයින් එය නිෂ්ප්‍රභ කරන ලෙස සිය මූලික විරෝධතාව තුළින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා ඉදිරිපත් කිරීම අද අවසන් කෙරුණා.

    අනතුරුව එම මූලික විරෝධතාවලට අදාළ පිළිතුරු නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා විසින් හෙට අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News