එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමේ සිද්ධියට ගොනු කළ පෙත්සම විභාගයට අවසර

දෙසැ 01, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නා.

    පෙත්සම් අද දීර්ඝ ලෙස සලකා බැලීමෙන් පසුව ඒ.එච්.එම්.ඩී.නවාස්, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

    මෙම පෙත්සමට අදාළ ව කරුණු දක්වන ලෙස දන්වමින් එහි වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ජනවාරි මස 20 වන දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස ද වග උත්තරකරුවන්ට නියෝග කළා.

    කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදනීයක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් තිබුණා.

    කාදිනල් හිමිපාණන් ඇතුළු පෙත්සම්කරුවන් සිය මූලික අයිතිවාසිකම් පෙත්සම්වලින් අවධාරණය කර තිබුණේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවයි.

    මෙම නෞකා අනතුර හේතුවෙන් කොළඹ, ගම්පහ කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන ධීවරයන් විශාල පිරිසකට සිය ජීවනෝපාය අහිමි වූ බවත් පරිසරයට දැඩි හානියක් සිදු වූ බවත් පෙත්සම් වලින් පෙන්වා දී තිබෙනවා.

    ඒ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අදාළ නෞකා අනතුර හේතුවෙන් පරිසරයට සිදු වූ හානිය සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

    එමෙන්ම අදාළ අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News