කාබනික ඝන පොහොර හදන්න ගොවීන්ට රුපියල් මිලියන 4500ක් දීලා

දෙසැ 01, 2021

    කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601කට රුපියල් මිලියන 4500ක් මේ වන විටත් රජයෙන් ලබා දී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා සඳහන් කළේය.

    කුඹුරු හෙක්ටයාර් 647681ක් වෙනුවෙන් මෙම මුදල් ප්‍රදානය කර ඇති බවද කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

    කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති කාබනික වගාවේ ඉදිරි ගමන පිළිබඳ ජාතික කථිකාවත මැයෙන් වූ වැඩමුළුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඊයේ (30) පැවැති මෙම වැඩමුළුවේදී ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ දිවයින පුරා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන තුළද කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 7000ක් නිෂ්පාදනය කර ඇති බවය. මීට අමතරව කාබනික ඝන පොහොර නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය කැබලි කිරීමට අවශ්‍ය යන්ත්‍ර 85ක් ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත ලබා දී ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කළේය. කාබනික ඝන පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන සියල්ලටම අමුද්‍රව්‍ය කැබලි කිරීමේ යන්ත්‍ර හා තණකොළ කපන යන්ත්‍ර ලබා දීමට පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

    මෙහිදී ගොවීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පෙන්වා දුන්නේ මෙවර මහ කන්නයේ කාබනික ඝන පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 4,16,176.73ක් වුවත් සැපයිය හැකිව ඇති ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3,59,708ක් බවය. මේ අතර කාබනික දියර පොහොර ලීටර් 77,25,099ක් මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. රුපියල් 12500 බැගින් ඝන පොහොර නිෂ්පාදනය සඳහා සහනාධාර ලබා ගත් ගොවීන් විසින් කාබනික ඝන පොහොර මෙට්‍රික් ටොන් 1,01957ක් නිෂ්පාදනය කර ඇති බවද පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පෙන්වා දුන්නේ රජයේ හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යථාර්ථයක් කර ගැනීම සඳහා දේශපාලන අධිකාරිය, පරිපාලන අංශය, ව්‍යාපාරික අංශය හා ගොවීන් ද එකම තීරණයක සිට කටයුතු කළ යුතු බවයි. මෙම කටයුතු සියල්ල විනිවිදභාවයෙන් යුතු විය යුතු බවද ලේකම්වරයා කීවේය.

    කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා මෙම වැඩමුළුවේ ගොවි ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේ කාබනික ගොවිතැන සාර්ථක කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කැපවී සිටින බවය.

    මෙම වැඩමුළුවට කෘෂිකර්ම අමාත්‍ය මහිනදානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජල සම්පත් අමාත්‍ය වාසුදේව නානාක්කාර, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්වරුන් සමඟ දිවයිනේ විවිධ මහජන සංවිධාන හා ගොවි සංවිධාන නියෝජනය කරන ඒවායේ නියෝජීතයින් ද සහභාගී වී සිටියහ.

    Latest News