මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම

දෙසැ 01, 2021

    මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය වහා මහපොළ භාරකාර අරමුදල යටතට පත්කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කර තිබෙන පෙත්සම අගවිනිසුරුවරයා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සඳහා මාර්තු මස 21 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.බී. දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අගවිනිසුරුවරයා මහපොල භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හෙයින් මෙම පෙත්සම සලකා බැලීම තමා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවට යොමු කරන බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා නියම කළා.

    ඒ අනුව අදාළ පෙත්සම අගවිනිසුරු වරයා නොමැති විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මාර්තු මස 21 වන දා සලකා බැලීමට නියමිතයි.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ගැරන්ටි සමාගම, අල්ලස් කොමිසම පොලිස්පතිවරයා නීතිපතිවරයා ඇතුළු 43 දෙනෙකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා කියා සිටින්නේ මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය මහපොළ භාරකාර අරමුදලේ ප්‍රතිපාදන මත ස්ථාපිත කෙරුණු බවයි.

    අදාල තොරතුරු තාක්ෂණ විද්‍යාලය ආරම්භ කිරීම සඳහා මහපොළ අරමුදලට අයත් මුදල්වලින් අක්කර 25ක ඉඩමක් මිලදී ගත් බව පෙන්වාදෙන විජයදාස රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පාලන සමයේ ඊට රුපියල් මිලියන 500ක මුදලක් රජයෙන් ලබා දුන් බවත් පවසනවා.

    ඉන් අනතුරුව ඉකුත් 2015 වසරේ මැයි මස 12 වනදා මහපොළ අරමුදල් භාරකාර මණ්ඩලයේ කිසිදු යෝජනා සම්මතයකින් තොරව මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය "ස්ලිට් ගැරන්ටි සමාගම" වෙත පවරා දීමට එවක පැවති රජය ක්‍රියා කළේ යැයි චෝදනා කළ විජයදාස රාජපක්ෂ මහතා මේ හරහා මහපොළ භාරකාර අරමුදලට රුපියල් කෝටි හාරදාහට අධික පාඩුවක් සිදුවී ඇති බවද පෙන්වා දෙනවා.

    මෙම මහාචාර්ය ලලිත්. ආර්. ගමගේ, මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, මංජුලා සාගරා ඇල්ලේපොල, හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අනිල් රාජකරුණා යන අය වගකිව යුතු බවද ඔහු පෙත්සමේ සඳහන් තිබෙනවා

    එම ක්‍රියාව තුළින් තමන්ගේ මෙන්ම ජනතාවගේ ද මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

    මෙම අපරාධයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ පරීක්ෂණ පවත්වා ඔවුන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු භාණ්ඩ ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම දූෂිත ක්‍රියාවලිය පිළිබඳව වහා විමර්ශනයක් පවත්වන ලෙස අල්ලස් කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    එමෙන්ම "ස්ලිට් ආයතනයේ" වත්කම් විකිණීම, බැහැර කිරිම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් 2015 වසරේ මැයි මස 15 වනදා සිට මෙම නඩුවේ තීන්දුව ලැබෙනතුරු අදාළ ආයතනයේ විසින් උපයාගත් සියලුම ලාභ මහපොළ අරමුදලට බැර කරන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සමෙන් තවත් නියෝගයක් ඉල්ලා තිබෙනවා.

    අමතරව අරමුදලට මහපොළ අරමුදලට රුපියල් මිලියන 100 බැගින් වන්දි ගෙවන ලෙස ස්ලිට් ගැරන්ටි සමාගමේ" අධ්‍යක්ෂවරුන්ට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කාර විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News