ජනපති අමරපුර මහා නිකායේ අභිනව මහා නායක හිමියන් බැහැ දකී...

අගෝ 06, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් බැහැ දුටුවේය.

    උන්වහන්සේ වැඩ වෙසෙන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා අභිනව මහා නායක හිමියන්ට සිය සුභාශිංසන පුද කළේය.

    ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් අමරපුර මහා නිකායෙන් සිදුවන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පැවසීය.

    මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විශේෂ සටහනක් තබමින් සමරු සටහන් පොතේ අත්සන් තැබීය.

    ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරත ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.

    ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

    Latest News