හජ්ජි උත්සවය දින ජනපති හා අගමැතිගෙන් පණිවුඩ

ජූලි 21, 2021

    මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ්ජි උත්සවය වෙනුවෙන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා සුබ පැතුම්න් පණිවුඩ නිකුත් කර තිබේ.

    ජනාධිපතිතුමාගේ හජ් දින පණිවුඩය

    හජ් සමය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කෙරෙන ආධ්‍යාත්මික උළෙලකි. එය ඉස්ලාම් සමාජය අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂි කාලපරිච්ජේදයක් ලෙස ද මම දකිමි.

    සියලු ආගම්වලට අයත් ශාස්තෘවරුන් මානව යහපැවත්මට අවශ්‍ය ලෝකාර්ථ ධර්ම පෙන්වා දී තිබේ. එමඟින් සමාජ සාරාර්ථ ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය අගනේ ය. එය ලෝක යහපැවැත්මට සහ අඛණ්ඩතාවට අත්‍යවශ්‍ය සාධකයකි.

    ඉස්ලාමීය දහමේ අවසාන ශාස්තෘවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජීවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලොව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදා කර ගැනීමට මෙම කාලය උපකාරී වනු ඇත.

    කොවිඩ් වසංගතය හේතුවෙන් සම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට පෙර පරිදි කටයුතු කිරීමට යම් සීමාවන් පනවා තිබේ. ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභසිද්ධිය පිණිස ය. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මේ ඉස්ලාම් සමය වතාවත්වල නිරතවෙමින් කටයුතු කරන ලෙස සිහිපත් කරමි.

    ශුද්ධ කුරානය සහ මුහම්මද් නබිතුමාගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

     

    අගමැතිතුමාගේ හජ් දින පණිවුඩය..

    පරිත්‍යාගය හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් අද දින ඊද් උල් අල්හා හෙවත් හජ් උත්සවය සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබපැතුම් එක් කරමි.

    ඉස්ලාම් ආගමේ පදනම වැටී ඇති පංචස්තම්බ වලින් එකක් වන්නේ හජ් වන්දනාවයි.

    කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක්ම සිය ආයු කාලය තුළ දී එක්වරක් හෝ හජ් වන්දනාවේ නිරතවිය යුතු බව විශ්වාසයයි.

    ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණක බැදී එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරනුයේ හජ් වන්දනාව තුළිනි.

    ඒ අනූව ගත් කළ සාමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට සන්නිවේදනය කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැදින්විය හැකියි.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයේ මෙන්ම මෙවරත් ඉස්ලාම් බැතිමතුන්ට මක්කම ගොස් හජ් වන්දනාවේ යෙදීමට ඇති ඉඩකඩ ඇහිරී තිබේ.

    සාමය සහෝදරත්වය සමානාත්මතාවය අගය කරන හජ් දින සුබ ප්‍රාර්ථනාවන්ට එමගින් බාධාවක් නොවන බව මාගේ විශ්වාසයයි.

    දේවස්ථානවල සාමූහිකව රැස්වී සිදුකරන සම්ප්‍රදායික ආගමික කටයුතු මෙවර සිදු නොකරන ලෙසට සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් වලට අනුගත වෙමින් කොවිඩ්-19 වසංගතය ලොවින් තුරන් කරන්නට අප සැම එක්ව තිර අධිෂ්ඨානයේන කටයුතු කළ යුතුය.

    ඉස්ලාමීය මගපෙන්වීම් ද නිසි අයුරින් අනුගමනය කරමින් ලෝකවාසී ජනතාවම කෙටි කලක් ඇතුළත කොවිඩ් වසංගතයෙන් මුදා දෙන්නැයි, අද වැනි උතුම් දිනෙක අල්ලාහ් දෙවියන්ගෙන් අයැද සිටිමු.

    ඔබගේ සියලු යහක්‍රියා අල්ලාහ් දෙවියන් විසින් පිළිගනිත්වා යන්න අපගේ ද ප්‍රාර්ථනයයි.

    විවිධ ජාතීන් අතර සුහඳත්වය හා සංහිදියාව සිහිපත්කරන හජ් උත්සවයේ පරමාර්ථ යථාර්ථයක් බවට පත්වන ප්‍රීතිමත් ඊද් උල් අල්හා උත්සවයක් වේවා යැයි සහෝදර ඉස්ලාම් බැතිමතුන් සියලු දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරමි.

    Last modified on බදාදා, 21 ජූලි 2021 12:04

    Latest News