තැපැල් සේවාව ඩිජිටල්කරණයට (වීඩියෝ)

ජන 27, 2021
  • ලොව අතිනවීන තාක්‍ෂණ ක්‍රමෝපායන්ගෙන් යුත් ඩිජිටල්කරණය මෙරට තැපැල් සේවාව තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

    ශ්‍රී ලංකා තැපැල් සේවාවෙන් පාරිභෝගිකයන්ට කාර්යක්‍ෂම හා විශ්වසනීය උපරිම සේවාවක් සැලසීම මෙහි අරමුණයි. තැපැල් සේවාව තොරතුරු තාක්‍ෂණ ක්‍රමෝපායන් ඔස්සේ ඩිජිටල්කරණය සඳහා වන විශේෂ සාකච්ජා කිහිපයක් තැපැල් මූලස්ථානයේ දී අද පැවැත්විණ. ඒ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සැලසුම් කිහිපයක් ද මෙහිදී ඉදිරිපත් කෙරිණ. අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ සිට තැපැල් සේවාව ලොව නවීන සියලු ක්‍ර‍මෝපායන් ඔස්සේ ගොඩනැංවීම අරමුණ බවයි. ඉදිරි වසර දහයකට ප‍හලොවකට ඉදිරියෙන් තාක්‍ෂණික ක්‍රමෝපායන් අදට ගැලපෙන සේ යොදා ගනිමින් තැපැල් සේවාව ජනතාව අතරට ගෙනයාම සිදුවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය පෞද්ගලික දෙ අංශයෙහි තරගකාරිත්වය සංකලනය හා තුලනාත්මක බව සැලකිල්ලට ගත යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

    ශ්‍රී ලංකාවේ මේ වනවිට තැපැල් කාර්යාල 653ක් ක්‍රියාත්මක වන අතර උප තැපැල් කාර්යාල 3,410ක් ස්ථාපනය කර තිබේ. එම සියලු කාර්යාල ජාලගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙරට තැපැල් සේවාව තුළ මානව හා භෞතික සම්පත් විශාල වශයෙන් පවතින බැවින් ඕනෑම තරගකාරි කණ්ඩායමක් සමඟ ඕනෑම අභියෝගයක් තැපැල් දෙපාර්තමේන්තුවට ජයගත හැකි බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

    ඒ අනුව, ඉතා කඩිනමින් ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්
    ජගත් පී විජේවීර, 
    තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බදාදා, 27 ජනවාරි 2021 23:50

    Latest News