යහපාලන ආණ්ඩුව 2015දී මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව පාවා දුන්නා - ජනමාධ්‍ය ඇමැති

ජන 27, 2021

    පසුගිය රජය රටක් පාවා දිය හැකි උපරිම අකාරයේ පාවාදීමක්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ 30/1 යෝජනාව හරහා කළ බැවින් එයින් ගොඩ ඒමට රජයට වගකීමක් තිබෙන බව ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ කමිටුවක් පත් කර, මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන්නේ කොතැනද, මොනවාද ඒ කරුණු කියා සොයා බැලීමට කටයුතු කළේ ඒ නිසා බවද ඇමැතිවරයා සඳහන් කරයි.

    එමෙන්ම, යුද්ධය පැවැති සමයේ යම් අයකුට අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගැනීමට රජයක් ලෙස බලාපොරොත්තු වන බවද ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

    ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මේ සම්බන්ධයෙන් මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    'අලුතෙන් මේ සම්බන්ධව සොයා බලා යම් අඩු - පාඩුවක් සිදුව තිබෙනවා නම් ඒ ගැන අවධානය යොමු කිරීමට සූදානම්. යුද්ධයක හෝ ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවිය යුතුයි කියන මතයේ බොහොම පැහැදිලිව රජයක් හැටියට ඉන්නවා. එවැනි තත්ත්වයක් තුළ අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි තීන්දු අරගෙන යම්කිසි කෙනකුට යම් අගතියක් සිදුවුණා නම් ඒ අගතිය වෙනුවෙන් කටයුතු කරන්න' යනුවෙන් ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

    ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවැසීය.

    මුල පටන්ම අපට මේ සම්බන්ධයෙන් ස්ථාවරයක් තිබුණා. මේ පිළිබඳ සොයා බැලීමට අභ්‍යන්තර වැඩපිළිවෙළක් ගැනයි අපි විශ්වාසය තැබුවේ. මෙතෙක් කල් ලෝකයේ මෙවැනි තත්ත්වයන් තිබූ තැන්වල විශේෂයෙන් ඉරාකයේ වාර්තාව එළියට එන්න අවුරුදු හතක් ගියා. 2010 අවසානයේ අපට තිබුණ පීඩනයට අපි මුහුණ දුන්නා. පරණගම කොමිසම, උගත් පාඩම් කොමිසම වැනි කොමිෂන් සභා ගණනාවක් පත් කර දත්ත එකකු කරන්න බලාපොරොත්තුව සිටි කාලයක තමයි ආණ්ඩුව වෙනස් වුණේ. අවාසනාවට 30/1 කියන යෝජනාව හරහා මංගල සමරවීර මහතා එදා විදේශ ඇමැතිවරයා ලෙස අමෙරිකාව සමඟ එකතු වී ලංකාවේ අය වැරදි කළා, ලංකාවට දඬුවම් දිය යුතුයි කියා පළමු වතාවට කරුණු ඉදිරිපත් කළා. නමුත්, අවසානයේ ජිනීවාහි තිබූ සාකච්ඡාවට තිලක් මාරපන මහතා ඉදිරිපත්වූ අවස්ථාවේ එතුමා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කළා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි කරුණු ගණනාවක් එහි තිබෙනවා කියලා.

    ඒ නිසා ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට පටහැනි කරුණු කුමන එකඟතාවකට ආවත් ක්‍රියාවට නැංවීමට නීත්‍යනුකූල හා ව්‍යවස්ථාමය අයිතියක් අපට නෑ, ඒවා ක්‍රියාත්මක කරන්න බෑ කියා මතයක් ඇති වුණා. පසුගිය රජය රටක් පාවා දෙන්න පුළුවන් උපරිම අකාරයේ පාවාදීමක් තමයි 30/1 යෝජනාව හරහා කළේ. ඒ නිසා එතැනින් ගොඩ ඒමට අපට වගකීමක් තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා විශේෂ කමිටුවක් පත් කර මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන්නේ කොතැනද, මොනවාද ඒ කරුණු කියා සොයා බලන්න කටයුතු කළේ.

    Latest News