විදේශ සේවා නියුක්ති කාර්යාංශය ශ්‍රමිකයන් ගෙන්වීමට රු. බි.14ක තැන්පතුව යොදවයි

ජන 27, 2021

    කොවිඩ් වයිරසයෙන් අසරණව සිටින විදෙස් ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව ඇති රුපියල් බිලියන 14 ක තැන්පතු මුදල් වැයකිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විදෙස් කාර්යාංශයේ අවධානය යොමු කරවා ඇත.

    කාර්යාංශයේ ලියාපදිංචිව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් සිය අරමුදල් භාවිත කොට මෙරටට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව මේ අවස්ථාවේදී කාර්යාංශයේ සභාපති කමල් රත්වත්ත ප්‍රකාශ කළේය.

    මැදපෙරදිග තෙල් මිල පහළ යාම හේතුවෙන් රැකියා අහිමි වූවන් සහ කොවිඩ් ව්‍යසනය හේතුවෙන් රැකියා අහිමි වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිස් හතර දහස් හත්සිය විසි එකක් (34,721) මෙරටට ගෙන්වා ගන්නා ලෙස මේ වන විටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉල්ලීම් ලැබී ඇතැයි ද මෙහිදී අනාවරණය විය.

    විදෙස් තානාපති කාර්යාලවල සේවය කරන විදේශ සේවා නිලධාරීන් නඩත්තු කිරීමට වසරකට රුපියල් කෝටි 80 ක් වැය කළ ද ඔවුන්ගෙන් අපේක්ෂිත සේවාවන් ඉටු වෙනවාද යන්න සොයා බලන ලෙස කෝප් කමිටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    කෝප් කමිටුව මේ බව සඳහන් කළේ විදේශ රැකියා ක්ෂේත්‍රයෙහි වර්තමාන තත්ත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය කිරීමට පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

    සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝප් කමිටු රැස්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.

    Latest News