ශානි අබේසේකර අද (26) ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි දෙයි

ජන 26, 2021

    මාවනැල්ල බුදුපිළිම කැඩීමට සහ වනාතවිල්ලුවෙන් සොයාගත් පුපුරණ ද්‍රව්‍යවලට එකම කණ්ඩායමක් සම්බන්ධ බවත් ඔවුන් ඉදිරියේදි විනාශකාරි ක්‍රියාවකට යොමුවිය හැකි බවත් පාස්කු ප්‍රහාරයට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළද ඔහු ඒ පිළිබද උනන්දුවක් නොදැක්වු බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පවසයි.

    ඔහු මේ බව සදහන් කළේ කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද ජනාධිපති කොමිසම වෙත දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින්. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා අද ජනාධිපති කොමිසම හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදුන්නේය.

    ඒ කොළඹ ජාතික රෝහලේ 42 වන වාට්ටුවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජනාධිපති කොමිසම හා සම්බන්ධ වෙමින්. එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පළමුව ප්‍රශ්න කර සිටියේ වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙන් 2019 ජනවාරි මස 16 වන දින විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමත් සමග ඔබ කවර නිගමනයකට පැමිණියේද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් ශානි අබේසේකර මහතා කියා සිටියේ යම් අපරාධ කල්ලියක් විශාල ජීවිත හානියක් කිරීමට සැලසුම් කර ඇති බවක් තමන්ට වැටහුණු බවයි. අදළ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සිදුවුයේ මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දිගුවක් ලෙස බව පැවසු අබේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ එම සිදුවීම් දෙකටම සම්බන්ධ එකම අන්තවාදි කණ්ඩායමක් බව විමර්ශනවලදි අනාවරණය වු බවයි.

    අදාළ කණ්ඩායමේ නායකයා සහරාන් හෂිම් නැමැත්තෙකු බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමට තමන් යටතේ සිටි පොලිස් පරික්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායම උත්සහ කරමින් සිටි බවත් අබේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    එහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ විමර්ශන තුළින් සහරාන් හෂීම් වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ මාවනැල්ල බුදු පිළිමවලට පහරදීමට සම්බන්ධ බව අනාවරණය වී තිබියදිත් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වුයේ මන්ද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් ශානි අබේසේකර මහතා මෙසේ පැවසුවා.

    "ස්වාමිනි, අපි සමාන්‍යයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදි ඔවුන් රැදී සිටින ස්ථාන සොයාගනු ලබන්නේ දුරකතන කුළුණු වාර්තා ඔස්සේයි. නමුත් මේ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම ත්‍රිමා කියන ඇප් එක භාවිතා කරලා තමයි සම්බන්ධතා පවත්වා තිබුනේ. ඒ නිසා අපිට ඔවුන් රැදී සිටින ස්ථාන නිශ්චිතව තහවුරු කරගන්න හැකිවුනේ නැහැ. අපි ඒ ඇප් එක අයිති සමාගමෙන් තොරතුරු ඉල්ලුවා. මා ලග ලිඛිත සාක්ෂි තිබෙනවා. නමුත් ඔවුන් අපිට තොරතුරු දුන්නේ නැහැ " යැයි අබේසේකර මහතා පිළිතුරු දුන්නා.

    එහිදි ශානි අබේසේකර මහතා වැඩිදුරටත් සාක්ෂිදෙමින් මෙලෙස ද සදහන් කළා.

    "ස්වාමිනි ඔය කියන කාල වකවානුවේ එක්තරා දිනක මමයි, ඒ වෙද්දි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ඉදපු රවි සෙනෙවිරත්න මහත්මයයි ප්‍රකාශයක් ගන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවෙන්න පැජට් පාරේ නිවසට ගියා. එතනදි ප්‍රකාශය අරන් ඉවරවෙලා රෑට කෑම කන ගමන් අපි ජනාධිපතිවරයාට මෙහෙම කිව්වා. " සර් මාවනැල්ලටයි, ලැක්ටෝවත්තටයි එකම කණ්ඩායමක් සම්බන්ධ නිසා මේක සුළුවෙන් තකන්න එපා. ඔවුන් විශාල විනාශයක් කරන්න පුළුවන්. සර් මේ ගැන ආරක්ෂක කවුන්සලයේදි කතා කරන්න " කියලා.

    එතකොට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා, " හරි රවි මම ඒ ගැන කතාකරන්න අවස්ථාවක් අරන් දෙන්නම් කිව්වා." නමුත් කිසිම අවස්ථාවක හිටපු ජනාධිපතිවරයා ඒ ගැන කතාකරන්න අපිව කැදවීමක් කළේ නැහැ. යැයි ශානි අබේසේකර මහතා වැඩිදුරටත් සාක්ෂි දුන්නේය.

    එහිදි කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඔබ එම අවස්ථාවේදි සහරාන්ගේ නම කිව්වද යන්නයි.

    සහරාන්ගේ කියලා නම නම් කිව්වේ නැහැ ස්වාමිනි. නමුත් අපි පැහැදිලිව අන්තවාදි කණ්ඩායම ගැන කිව්වා. සංවිධානයක් කිව්වාම ගණන් ගන්නේ නැති කෙනා පුද්ගලයෙක්ගේ නමක් කිව්වාම ගණන් ගනීද ? මොකද සහරාන් කියන්නෙත් නමක් විතරයි. යැයි අබේසේකර මහතා පැවසුවේය.

    එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රශ්න කර සිටියේ වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණවලදි අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ඉදිරියේදි මේ රට ලේ විලක් කිරීමට සැලසුමක් තිබෙන බවක් අනාවරණය වුයේද යන්නයි.

    ලේ විලක් කරන්න කියලාම කියන්න බැහැ. නමුත් වනාතවිල්ලුව විශාල පුපුරණ ද්‍රව්‍ය තොගය අපි සොයාගන්නේ නැතුව ඒවා උපයෝගි කරගෙන ප්‍රහාරයක් කලානම් ලේ විලක් වෙන්න තිබ්බා. ඒ වගේම වනාතවිල්ලුව විමර්ශනයෙන් අනාවරණය වෙලා තිබුණා 2020 මැයි වෙද්දි ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන යැයි අබේසේකර මහතා වැඩිදුරටත් සාක්ෂි ලබාදුන්නේය.

    එහිදි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේ ඔබ ඒ පිළිබදව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කළේද යන්නයි.

    ස්වාමිනි. වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට සහ මාවනැල්ලේ බුදු පිළිම කැඩීමට එකම කණ්ඩායමක් සම්බන්ධ බව අපි කිව්වා. එය සුළුකොට තකන්න එපා කියලත් කිව්වා. නමුත් ඒ පිළිබද වැඩිදුර තොරතුරු ගන්න අපිව කැදවීමක් කළේ නැහැ. එහෙම කැදෙව්වානම් ඔය ගැනත් කියනවා. ඒ වගේම සවිස්තරාත්මක වාර්තාවක් ලබාදෙන්න තිබ්බා යැයි ශානි අබේසේකර මහතා පිළිතුරු දුන්නේය.

    Latest News