ප්‍රධාන නගර ආශ්‍රිතව බහු මහල් රථගාල් 12ක් ඉදි කිරීමට පියවර

ජන 26, 2021

    කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රධාන නගර ආශ්‍රිතව බහු මහල් රථගාල් 12ක් ඉදි කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    රථවාහන තදබදයට සහ ගාල් කිරීමේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීම අරමුණයි. ව්‍යාපෘතිය යටතේ එක් රථගාලක් ඉදි කෙරෙන්නේ, කොළඹ 07 ඇස්වාට්ටුව නොරිස්කැනල් මාර්ගය ආසන්නයේ. කොළඹ මහ රෝහල් පරිශ්‍රය අවට රථවාහන ගාල් කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බැවින් දැඩි වාහන තදබදයක් ද පවතී.

    හදිසි ප්‍රතිකාර සඳහා රෝගීන් ගෙන ඒමේදී ද මේ තත්වය දැඩිව බලපායි. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන නොරිස්කැනල් මාර්ගයේ පවතින පැරණි වෙළෙඳ සංකීර්ණ භූමියේ නව රථගාල ඉදි කිරීමට තීරණය කර ඇත.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය. කොළඹ සහ බාහිර නගර කිහිපයක ද රථගාල් ඉදි කිරීමට නියමිතයි.

    මෙහි ප්‍රථම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ, කොළඹ ලේක්හවුස් ආයතනය අසල පිහිටි ටෙලිකොම් රථගාල ඉදි කරමින්. නාගරික සංවර්ධන අධිකාරිය ඊට වැය කළ මුදල රුපියල් මිලියන 1113ක්.

    රාජ්‍ය ආයතනයක් ඉදි කළ ප්‍රථම බහුවිධ රථගාල ද මෙයයි. කොළඹ කොටුව, පිටකොටුව, ඩී.එස්.සේනානායක වටරවුම, යුනියන් පෙදෙස, නාරහේන්පිට යන ප්‍රදේශවල ද රථගාල් ඉදිකිරීමට නියමිතයි. බත්තරමුල්ල, අනුරාධපුරය, කුරුණෑගල යන නගරවල ද රථගාල් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

    Latest News