එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පාස්කු කොමිසම හමුවේ පළමුවරට සාක්ෂි දෙයි

නොවැ 24, 2020

    අලියාර් ගැටුමෙන් පසු වරෙන්තු ලැබ සැඟව සිටි සහරාන්ට, පැමිණ අධිකරණයට භාර වුවහොත් ඉදිරි කටයුතු තමන් කරන්නම් යැයි හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා විසින් කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් පාස්කු ජනපති කොමිසම ප්‍රශ්න කළා.

    සහරාන් සමඟ පැවති සබදතා සහ ශ්‍රී ලංකා හිරා පදනම සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපති කොමිසම දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුවා.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ඊයේ සාක්ෂි ලබාදුන්නේ පළමුවරට.

    රජයේ අධිනීතිඥවරයා - " ශ්‍රී ලංකා හිරා පදනමට අයත් ලංකා බැංකු ගිණුම් තිබෙනවා ද?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " ඔව් මුලින්ම 1993 විවෘත කළා. ඊටපස්සෙ 2011න් පස්සේ ආයෙත් විවෘත කළා."

    රජයේ අධිනීතිඥවරයා - " ඔබේ හීරා පදනමට කොහොමද මුදල් ලබාගන්න තීරණය කළේ ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " මුලින්ම අපි පොඩි පොඩි වැඩ තමයි කළේ. ඊටපස්සෙ 2015 ඉදලා තමයි ක්‍රියාකාරීව වැඩ කරන්න ගත්තේ"

    රජයේ අධිනීතිඥවරයා - " ඒ වැඩවලට විදේශ මුදල් ආවේ කොයි කාලෙද ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " 2016 අවුරුද්දේ මාර්තු මාසයෙන් පස්සේ තමයි විදේශ මුදල් ආවෙ. සෞදියේ අලි අබ්දුල්ලා අල් ජුෆාලි මිලියන 308ක් දුන්නා. ලංඩනයේ සිද්ධික් සහ ඩයනා ඔස්මන් යුවළ ලක්ෂ 55ක් දුන්නා. "

    රජයේ අධිනීතිඥවරයා - " සෞදි අරාබියේ ඔබට තිබෙන සම්බන්ධතා මොනවාද ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " අලි අබ්දුල්ලා සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු හදුනනවා "

    අනතුරුව ජනාධිපති කොමිසම සතුව මේ වනවිට පවතින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිබිලි ෆාරුක් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් සාකච්ඡාවක නිරත වෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළා. 

    මෙම සාකච්ඡාවට අනුව එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබිලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් ඔවුන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලබනවා.

    එමෙන්ම සහරාන් හෂීම් මෙහිදී ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලාගේ කටයුතු සඳහා අරාබියෙන් එලස මුදල් ගෙන කටයුතු කිරීම පිළිබඳව තමන්ට ගැටලුවක් නොමැති බවයි.

    මෙම වීඩියෝ පටිය සම්බන්ධයෙන් සාක්ෂිකාර හිස්බුල්ලා මහතා කරුණු දැක්වූවා.

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " 2015 වෙනකොට මට එරෙහිව සම්පූර්ණයෙන් වැඩ කළේ සහරාන් මට විරුද්ධ වුණ සිබිලි ෆාරුක් ඇතුළු පිරිස සමඟ තමයි මේ සහරාන් කතාකරන්නෙ. ඒකෙදි කියනවනේ මිලියනයක් රියාල් මට ලැබුනා. ඒවා දේශපාලනයට මම පාවිච්චි කළානම් කමක් නැහැ කියලා. නමුත් මම ඒවා දේශපාලනයට පාවිච්චි කළේ නැහැ. "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඒ කියන්නේ එහෙම මුදලක් ලැබුණා? "

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " ඔව් ලැබුණා. Projects සඳහා තමයි ඒවා ආවෙ. අනික සහරාන් එතන කියනවානෙ සල්ලි ආවට කමක් නැ කියලා "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඒ කියන්නේ සහරාන් ඔබට විරුද්ධව නෙවෙයිනෙ වැඩ කරලා තියෙන්නේ ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " නැ නැ ස්වාමීනි විරුද්ධව තමයි වැඩ කළේ "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " විරුද්ධනම් ඇයි මැතිවරණයට ගිවිසුම් ගත වුණේ සහරාන් සමඟ ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " එයා social media ඇවිත් වීඩියො එකක් දැම්මා එයා සහය දෙන්නම් එකතු වෙන්න කියලා. ඊටපස්සෙ ඔක්කොම පක්ෂ එයාට සහය දුන්නා. මමත් ගියා ඒ නිසා "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " 2017 මාර්තු 10 අලියාර් මංසන්ධියේ සිද්ධිය වුණේ කොහොමද ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " එතනදිත් මගේ අයට තමයි සහරාන්ගෙ අය ගැහුවෙ "

    ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු - " ඔය ගැටුමෙන් පස්සෙ සහරාන්ට වරෙන්තු නිකුත් වෙලා සහරාන් හැංගුණානෙ. ඔබ සහරාන්ගෙ මවගෙ අතේ පණිවුඩයක් යැව්වද සහරාන්ට, ඇවිත් උසාවියට භාරවෙන්න මම බලගන්නම් කියලා ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " නැ ස්වාමීනි. මගේ පක්ෂෙ කවුරු හරි කිව්වද දන්නැ එහෙම ඇවිත් භාරවෙන්න එතකොට ඇමති තුමා බලාගනිවී කියලා. මම නම් දන්නෙ නැහැ ඒ ගැන "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔච්චර දේවල් වුණත් ඔබ සහරාන්ට විරුද්ධව පැමිණිල්ලක් දැම්මෙ නැහැ නේද මහත්මයා ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " නැහැ ස්වාමීනි "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඔබ නේද කාත්තන්කුඩියේ රට ඉඳි වවලා, ආරාබි අක්ෂරවලින් නාම පුවරු ගහලා ඒක අරාබියක් කළේ ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " ඔව්. ඒක එහෙ රස්නෙ වැඩි නිසා තමයි මම රට ඉදි ඉන්දෙව්වෙ. අනික ඇරබික් students වැඩියෙන් එන පැත්තක් නිසා එයාලව attrac කරගන්න තමයි අරාබි අකුරු ගැහුවේ. "

    ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු - " ඒකද නැත්නම් ඔවුන් කියපු නිසාද ?"

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා - නැගෙනහිර හිටපු ආණ්ඩුකාර - " නැ නැ මට ලස්සන කරන්නයි ඕන වුණේ "

    මේ අතර ඊයේ පස්වරුවේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් 2008 - 2009 කාලවකවානුවේ නැගෙනහිර පළාත භාරව කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා පැවසුවේ 2008 වර්ශය පමණ වන විට නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක වූ ජිහාද් මතධාරි ආයුධ සන්නද්ධ මුස්ලීම් කණ්ඩායම් 18 න් එකක් මෙහෙයවනු ලැබුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා බවයි.

    හිස්බුල්ලා මහතාට අයත් මෙම කණ්ඩායමේ සමාජිකයින් 17 ක් සිටි බවත් ඔවුන් සතුව ටී 56 ගිනිඅවි 17 ක් සහ ජීව අත්බෝම්බ 04 ක් තිබු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළා.

    ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ 2009 ජුලි මස 04 දින මෙම ජිහාද් මතධාරි ආයුධ සන්නද්ධ මුස්ලීම් කණ්ඩායම් 18 ට තමන් සතු ආයුධ භාරදෙන ලෙස නියෝග කළද, හිස්බුල්ලා මහතා මෙතෙක් එම නියෝගයට අනුව තම කණ්ඩායම සතු ආයුධ භාරදීමට කටයුතු නොකළ බවයි.

    Latest News