හිස්බුල්ලාට සම්බන්ධ සැකකටයුතු ගිණුම් කිහිපයක් විමර්ශනයට

නොවැ 23, 2020

    නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කිරීමට සැරසුනු මතභේදාත්මක මඩකලපුව විශ්ව විද්‍යාලය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 3640 කට අධික මුදලක් සෞදි අරාබියේ සිටින පුද්ගලයෙකුගෙන් මෙරටට ලැබි ඇති බව අද අනාවරණය වුණා.

    ඒ කොල්ලුපිටියේ ලංකා බැංකු ශාඛාවේ ඇති හිස්බුල්ලා මහතාට සම්බන්ධ ගිණුම් රැසක් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයන් කරන ජනාධිපති කොමිසමේදි අද පරික්ෂාවට ලක්වු අවස්ථාවේදි.

    එසේම එහිදි වැඩිදුරටත් අනාවරණය වුනේ එම බැංකු ශාඛාවේ ඇති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් හිරා පදනමේ ගිණුමකට සැකකටයුතු අන්දමින් රුපියල් මිලියන 313 කට වැඩි විදෙස් ප්‍රේශන ලැබි ඇති බවයි.

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම අද දිනයේ කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ ඇති නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට සම්බන්ධ සැකකටයුතු ගිණුම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන කරනු ලබුවා.

    අදාළ ගිණුම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙනු ලැබුවේ එම බැංකු ශාඛාවේ හිටපු කළමණාකරුවෙකු වන චම්පා කුමාරි කන්නන්ගර මහත්මියයි.

    එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකාරිය කියා සිටියේ කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ Batticaloa Campus නමින් ජංගම ගිණුම් 2 ක් සහ එක් ෆියා ගිණුමක් ඇති බවයි.

    එම ගිණුම් අතර ඇති බැටික්ලෝ කැම්පස් කොලෙජ් ප්‍රයිවට් ලිමිටඩ් නම් ගිණුම 2016 ජනවාරි මස 14 විවෘත කර ඇති බවත් එහිදි බලයලත් නිලධාරින් ලෙස සභාපතිවරයා වශයෙන් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා නැමැත්තා සදහන් කර ඇති බව සාක්ෂිකාරිය සදහන් කළා.

    කෙසේ වෙතත් මෙම සමාගමේ නම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලෙස 2016 පෙබරවාරි මස 29 දින වෙනස් කර ඇති අතර 2019 ජනවාරි මස 04 වන දින ගිණුමේ බලයලත් නිලධාරි ලෙස සිටි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ඉන් ඉවත් වී හිරාස් හිස්බුල්ලා සහ හිෆාස් හිස්බුල්ලා යන දෙදෙනාට එම බලය පවරා ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියා.

    බැටික්ලෝ කැම්පස් නමින් විශ්ව විද්‍යාලයක් ඉදිකිරිමේ අරමුණින් ආරම්භ කර තිබු මෙම ගිණුමට අවස්ථා 07 කදි රුපියල් මිලියන 3640 කට වැඩි මුදලක් විදෙස් ප්‍රේශන ලෙස ලැබි ඇති බව අදාළ ගිණුම ඇති කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමණාකාරිනිය පැවසුවා.

    ඇය වැඩිදුරටත් කියා සිටියේ අදාළ අවස්ථා 07 තුළදීම එම මුදල් බැර කිරීම සිදුකර ඇත්තේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි නැමැත්තෙකු බවයි.

    එසේම මෙම ගිණුම තුළින් අවස්ථා රැසකදි චෙක්පත් මගින් රුපියල් මිලියන වැඩි මුදල් ලබාගැනීම් විශාල ප්‍රමාණයක් සිදුකර ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියා.

    මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ,

    " දැන් ඔය කියන ගිණුමට රුපියල් මිලියන 100 කට වැඩි විදෙස් ප්‍රේශන අවස්ථා 07 කදි ලැබිලා තියෙනවා, ඊළගට රුපියල් මිලියනයක වැඩි ගිණුමෙන් මුදල් ගැනීම් සිදුකරලා තියෙනවා. සාමාන්‍යයෙන් රුපියල් මිලියනයකට වැඩි මුදල් ගැනීමක් එකවර සිදුවෙනවා නම් මහබැංකුව දැනුවත් කරන්න ඕනේ. ඉතිං මෙම සැකකටයුතු ගනුදෙනු පිළිබදවත් මහබැංකුව දැනුවත් කිරිමක් කළාද..? යන්නයි.

    " මහ බැංකුවට වාර්තා කරලා නැහැ ස්වාමිනි. නමුත් මෙම සැකකටයුතු ලැබීම් පිළිබදව මගේ ශාඛාවේ නිලධාරින් මා දැනුවත් කළා. මම ඒ පිළිබද අපේ ප්‍රධාන කාර්යාලයේ අනුකූලතා අංශය දැනුවත් කළා. අනුකූලතා අංශයේදි මේ පිළිබද සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් ඉන් එහාට ප්‍රධාන ශාඛාවෙන් මහබැංකුව දැනුවත් කිරීමක් සිදුවෙලා නැහැ. මහ බැංකුව මේ පිළිබද දැනුවත් කරලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ " යැයි සාක්ෂිකාරිය පිළිතුරු දුන්නා.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ ඔබේ ශාඛාව සහ ප්‍රධාන කාර්යාලයේ අනුකූලතා අංශය අතර පැවති සාකච්ඡාවලදි මෙම ගිණුමට කිසියම් දේශපාලඥයෙක් සම්බන්ධ බව කියවිලා තියෙනවාද යන්නයි.

    ඔව් එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා මෙම ගිණුමට සම්බන්ධ බව සදහන් කළා යැයි සාක්ෂිකාරිය පැවසුවා.

    එසේම මෙහිදි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් හිරා පදනමට අදාළව කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ ඇති ගිණුම් කෙරෙහිද ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණා.

    ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් එම ශාඛාවේ හිටපු කළමනාකාරණිය කියා සිටියේ,

    " ශ්‍රී ලංකා හිරා ෆවුන්ඩේෂන් නමින් 1993 අගෝස්තු මස 18 වන දින ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. බලයලත් නිලධාරින් ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සභාපතිවරයා ලෙසත්, මොහොමඩ් සම්සුදින් ලේකම් ලෙසත් අහමඩ් ෆලිම් මොහොමඩ් භාණ්ඩාගාරික ලෙසත් සඳහන් වෙලා තියෙනවා. " යන්නයි.

    මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ දැන් ඔය ජංගම ගිණුමක් විවෘත කරද්දි පුද්ගලයෙකුගේ නමින් නැතුව සමාගමක් හෝ පදනමක නමින් විවෘත කරනවා නම් සමාගම් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ හෝ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුන සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ නේද ? යන්නයි.

    ඔව් ස්වාමිනි මෙම හිරා පදනම 1993 සැප්තැම්බර් 09 වැනිදා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී තිබෙනවා කියලා ලේඛනයක් ඉදිරිපත් කරලා තියෙනවා යැයි සාක්ෂිකාරිය පිලිතුරු දුන්නා.

    " දැන් ඔබ කිව්වා 1993 අගෝස්තු මස 18 වැනිදා තමයි මේ ගිණුම විවෘත කරලා තියෙන්නේ කියලා. හැබැයි ලියාපදිංචි කිරීමේ සහතිකයට අනුව සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්නේ 1993 සැප්තැම්බර් 09 වැනිදා. එතකොට ලියාපදිංචි සහතිකයක් නැතුව කොහොමද අගෝස්තු මාසයේ ජංගම ගිණුමක් විවෘත කරලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව නේද මේ ගිණුම විවෘත කරලා තියෙන්නේ යැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙරළා විමසීමක් කළා.

    ලියාපදිංචි වෙන්න අයදුම්පත දාලා තියෙන්නේ කියලා ගෙනත් දීමේ පොරොන්දුව පිට නිලධාරින් ගිණුම විවෘත කළා වෙන්න පුළුවන් ස්වාමිනි. නමුත් සාමාන්‍ය ක්‍රමවේදයට ලියාපදිංචි සහතිකයක් නැතුව ගිණුමක් විවෘත කරන්නේ නැහැ ස්වාමිනි යැයි කන්නන්ගර මහත්මිය පිළිතුරු දුන්නා.

    මෙම ගිණුමට විදේශ ප්‍රේශනවලින් මුදල් ලැබිලා තියෙනවාදැයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය මෙහිදි විමසා සිටියා.

    " අවස්ථා 15 කදි විදේශ ප්‍රේශන විදිහට ගිණුමට මුදල් බැර වෙලා තියෙනවා ස්වාමිනි. එලෙස බැරවෙලා තියෙන සමස්ත මුදලේ වටිනාකම රුපියල් මිලියන 313 කට අධිකයි. එලෙස මුදල් යොදවලා තියෙන්නේ සෞදි අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි, බ්‍රිතාන්‍යයේ සිද්ධික් ඇන්ඩ් ඩයනා ඔස්මන්ඩ් සහ ක්‍රෙඩෙන්ෂල් ලිමිටඩ් නැමැති පාර්ශව විසින් " යැයි කොල්ලුපිටිය ලංකා බැංකු ශාඛාවේ හිටපු කළමනාකාරිනිය සදහන් කළා.

    Latest News