පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් බිලියන 105 ක්

නොවැ 23, 2020

    ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

    පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

    සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 /ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000/ බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000/ බැගින්ද මේ යටතේ ප්‍රදානය කෙරේ.

    දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශ්ව පූර්ණ සහාය පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී.

    රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් 5ක් සහ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ද, සබරගමුවේ හා සෙසු ප්‍රදේශවල පාසල් කිහිපයක් ද හැරුණු කොට පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් හෙට (23) සිට 6 - 13 ශ්‍රේණි දක්වා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

    සියලු පළාත්, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේවන විටත් නිකුත් කර ඇති 15/ 2020 දරන චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ සියලු පාර්ශව සහාය කරගන්නා ලෙස උපදෙස් ලබාදී ඇතැයි ද ඒ මහතා පැවසීය.

     

     

    Latest News