වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 2 තුළ

නොවැ 22, 2020

    වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

    ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්ත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (21) එක් වෙමින් පැවසීය .

    සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය. එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්ත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා මෙහිදි කීවේය.

    පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේ දී අවධාරණය කළේය. ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය. අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසුවේ පුවත් පත් මණ්ඩල පනතට එක් කරන සංශෝධන පිළිබඳව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා කිරීම මඟින් එම කටයුතු පහසු වන බවයි. රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පැවසීය.

    අදාළ සංශෝධන අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසුවන බව මෙහිදි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරීස් මහතා පැවසීය. පනතක් එවැනි තාක්ෂණීක කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්ය වරයා පෙන්වා දුන්නේය.

    ජනමාධ්‍ය ආයතනවලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙහි දී අවධාරණය කළේය. සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසීය.

    Latest News