හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම වෙයි

ජූලි 10, 2020

    2015 වසරේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළදසැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 23 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරුවරිය නියම කළේ මෙම නඩුවේ සාක්ෂි විභාගය නොවැම්බර් මස 23 දා පවත්වන බවයි.

    2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංකර නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සහ ඇයගේ ආධාරකරුවන් 07 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

    එහෙත් ඇයගේ ආධාරකරුවන් 07 දෙනා මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙන් ඔවුන්ට කොළඹ මහාධිකරණය විසින් වසර 12 කට අත්හිටවු වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී.

    ඒ අනුව මේ වනවිට විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පමණක් මෙම නඩු විභාගය පැවැත්වේ.

    Latest News