එදා සීගිරිය අද ත්‍රිමාණව (වීඩියෝ)

මැයි 20, 2019

    මේ  දිනවල සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කාශ්‍යප රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.

    විනාඩි 15 ක පමණ කාලයකදී ත්‍රිමාණ රූප සමග සජීවී කරන තාක්ෂණය යටතේ ඉපැරණි සීගිරිය රජු දවසේ පැවැති ආකාරය දැක බලා ගැනීමට මෙන්ම සීගිරිය පැවති ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමට හැකි වන පරිදි මෙය ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

    මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර්  අනුර නිශාන්ත මහතා කියා සිටියේ ඉදිරියේදී සීගිරියට පැමිණෙන සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාදීම සඳහා  සිගිරිය  පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව ගමන් කිරීම සඳහාත් මෙය උපයෝගී වීමට  අත්හදා බැලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවය.

    සීගිරියට මේ දිනවල පැමිණෙන බොහෝ දෙනෙකු සීගිරිය කෞතුකාගාරයට පැමිණ පැරණි කාශ්‍යප රජ දවසේ සීගිරිය පැවති ආකාරය තාක්ෂණික ත්‍රිමාණ රූපරාමු සමග සජීවීකරණ අත්දැකීම  දැක  ගැනීම සඳහා දැඩි උනන්දුවක් දක්වති.

    බටහිර දොරටුවේ සිට සීගිරි ගල මුදුනේ පිහිටි රජ මාලිගාව දක්වාම ඉපැරණි රජ දවස මෙහි නිර්මාණය කොට තිබේ. සිංහ පාදය සීගිරි බිතුසිතුවම් දිය පොකුණු සීගිරි අප්සරාවන් ආරක්ෂක බල මුළු ස්ථාන සීගිරි කසුප් රජු අප්සරාවියන් සමඟ  දැක්වෙන  ත්‍රිමාණ රූප සජීවීකරණයෙන් නිර්මාණය කොට තිබේ.

    මෙහි තාක්ෂණික නිලධාරීන් කියා සිටියේ සීගිරිය පිළිබඳව වසර එකහමාරක පමණ කාලයක සිට අධ්‍යයනය කොට සීගිරියේ පිහිටි වර්තමාන ගොඩනැගිලිවල උස දිග පළල පිහිටීම් ආකාරය සියල්ල අධීක්ෂණයෙන් පසු එම ක්‍රමවේදයටම ඉපැරණි රජ මැදුර ත්‍රිමාණ තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කොට තිබෙන බවය.

    මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකරු වූ මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ බොහෝ දුරට මෙම නියමු ව්‍යාපෘතිය මධ්‍යම සංස්කෘතික අරමුදල ඉහළ බලධාරීන් ගේ උපදෙස් පරිදි සහ සංචාරකයන්ගේ උනන්දුව ඉල්ලීම පරිදි හා ලැබෙන ප්‍රතිචාර අනුව කෞතුකාගාරය තුළ දී ඒ පැරණි සීගිරිය තාක්ෂණික සජීවිකරණ දර්ශනය නැරඹීමට අවස්ථාව උදාවිය හැකි බව ය.

    thrimana 06jpg

    thrimana 05jpg

    thrimana 04jpg

    thrimana 03jpg

    thrimana 01

    Last modified on සදුදා, 20 මැයි 2019 21:58

    Latest News