ආදර මගෙ ජේසුන්ගේ උත්ථානය සිදු වූ දිනය අදයි

මාර් 31, 2024

    ජේසුස් කිස්තුන් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන පාස්කු ඉරු දිනය අදයි.

    මහ සිකුරාදා දින මරණයට පත් වූ ජේසුස් කිස්තුන් වහන්සේ උත්ථානය වූයේ අද වැනි දිනකයි.

    මානව වර්ගයා පාපයෙන් ගැලවීමේ උත්තම චේතනාවෙන්, කුරුසය මත අපමණ දුක් විද මරණයට පත්වීමෙන් පසු, ජේසුස් වහන්සේගේ සිරු‍ර ගුහාවක තැන්පත් කළ බව සඳහන්. ඉන් පසුව එළඹුනු පළමු ඉරු දිනයේදී, ඒ වෙත පැමිණි පිරිස දැක ඇත්තේ, උන්වහන්සේගේ සිරුර ගුහාවේ නොමැති බවයි.

    එහි තිබි හමුවූ බව කියන ජේසුස් වහන්සේගේ සිරුරෙන් ගැලු රුධිරය සහිත සුදු රෙදි කඩ කිතුණුවන්ගේ පුජනීය සංකේතයක් ලෙසයි සැලකෙන්නේ. යළි උත්ථානය වූ ජේසුස් වහන්සේ අපෝස්තරවරුන්ට දර්ශන වී තිබෙනවා. පාස්කු යන්නෙහි අරුත “එතෙර වීම” යන්නයි. ගින්දර සහ ජලය ආසිරි ගැන්වීම මෙහිදි සිදු කෙරෙන ප්‍රධාන චාරිත්‍රයක්.

    මෙවර පාස්කු ඉරු දින පූර්ව රාත්‍රික ප්‍රධාන දේව මෙහෙය ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා. ඒ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ  ප්‍රධානත්වයෙන්. බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මීට සමගාමීව රටපුරා දේවාස්ථානවලදී පාස්කු ඉරු දින විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණා. 

    2019 පාස්කු ඉරු දින දේව මෙහෙයන් අතරතුර එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසර පහක් සපිරෙනවා. ප්‍රධාන දේවාස්ථාන තුනක්, ප්‍රධාන හෝටල් කිහිපයක් ඇතුළු ස්ථාන 8ක් කේන්ද්‍ර කර ගනිමින්.

    එහිදී 270 කට ආසන්න පිරිසක් මරණයට පත්වුණා.  500 පමණ පිරිසක් තුවාල ලැබුවා. මේ හේතුවෙන් මෙවර පාස්කු දේව මෙහෙයන් අවස්ථාවලදී ද දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා. පොලිස්පති දේශබන්දු තේන්නකෝන් මහතා සඳහන්  කළේ දිවයින පුරා කිතුණු දේවාස්ථාන 1873 ආවරණය වන පරිදි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 6522ක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 320 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 2746කුට අධික පිරිසක් යොදවා ඇති බවයි.

    Latest News