එ.ජා.ප උරුමයද රැගෙන පැමිණි ගමන ජනපති මහනුවරදී කියයි

අප්‍රේ 08, 2024

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සමඟ කටයුතු කරමින්, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේ පක්ෂය ආරක්ෂා කරමින්, ඩී.බී. විජේතුංග ජනාධිපතිවරයා සමඟ ද කටයුතු කර එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව, රටේ නායකත්වය කරා තමා පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ බවත්, ඒ පිළිබඳ තමන් කණගාටු වන්නේ එතුමාගේ පියාගේ පාලන සමයේ දී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ පක්ෂය ආරක්ෂා කර දුන්නේ තමන් වීම නිසා බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහනුවර ජනාධිපති මන්දිරයේදී අද (07) පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි.

    එක්සත් ජාතික පක්ෂය කැඩී යාමට ඉඩ නොතැබුවා නම් අද එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව ඉදිරියට පැමිණෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, පක්ෂය දෙකඩ කරමින් ගොඩනැඟු සමගි ජනබලවේගය තුළ අද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, එම පක්ෂය තුළ එක්සත් ජාතික පක්ෂයේ අයෙකු නම් කිරීම කිසාගෝතමිය අබ ඇටයක් සොයා ගිය ගමනටත් වඩා අසීරු වී ඇති බවත් පෙන්වා දුන්නේය.

    එක්සත් ජාතික පක්ෂයේ නායකයාට ජනාධිපති ධූරය ලබා දීම නිසා පොහොට්ටුවෙන් ඉවත් වු පිරිස සමඟ එක්ව අගමැති ධූරය භාර ගැනීමට සූදානම් වු සමගි ජන බලවේගය තුළ අද ඇත්තේ ප්‍රතිපත්තියක් නොව, වෛරයක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය කිසිදා වෛරී දේශපාලනයක නිරත නොවන බවත් අද දවසේ සැබෑ අවශ්‍යතාවය වී තිබෙන්නේ රටේ ආර්ථිකය දියුණු කිරීම බවත් ප්‍රකාශ කළේය.

    Latest News