වෙන්දේසි නොවූ ආදරයේ වෙන්දේසි වූ ලී කැබැල්ල

මාර් 28, 2024

    සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයයේ රෝස්ගේ දිවි ගලවා ගැනීමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසි කර තිබෙනවා.

    එය අමෙරිකානු ඩොලර් 718,750කට අලෙවි වූ බවයි වාර්තා වන්නේ.   අමෙරිකාවේ පිහිටි හොලිවුඩ් සිනමා භාණ්ඩ පාදක කරගත් අවන්හල් සහ නිවාඩු නිකේතන සමාගමක් වන ‘ප්ලැනට් හොලිවුඩ්’ සමාගමට අයත් භාණ්ඩ හා ඇඳුම් වෙන්දේසියකදීයි මෙම ලී කැබැල්ල මෙසේ අලෙවිවී ඇත්තේ.  1997 දී තිරගත වූ ටයිටැනික් චිත්‍රපටයේ, ප්‍රධාන චරිතය වූ ජැක්, එක් අයෙකුට පමණක් රැදී සිටිය හැකි කැටයම් කළ ලී කැබැල්ලක් මත සිය පෙම්වතිය වූ රෝස් සමඟ සිට අවසානයේ අයිස් සහිත අත්ලාන්තික් සාගරය තුළ ගිලී යන දර්ශනය රසිකයන් අතර ඉමහත් ශෝකයක් උපදවන්නට සමත් වුණා.  

    ‘ටයිටැනික්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් වරෙක පැවසුවේ, රොස් ආත්මාර්ථකාමී බවත්, ප්‍රධාන චරිතය වන ජැක් මෝඩයෙක් බවත් පවසමින් බොහෝ අය එම දර්ශනයට විරෝධය පළ කරමින් තමාට ඊමේල් පණිවුඩද එවා තිබූ බවයි.  කෙසේ වෙතත් මේ පිළිබඳව සත්‍ය හෙළිදරව් කළ කැමරන් ප්‍රකාශ කළේ තමන් එම දර්ශන තලය ගත්තේ එම කතාව වෙනුවෙන් ප්‍රධාන චරිතයක් මියයාමට අවශ්‍ය නිසා බවයි.

    මේ අතර, වෙන්දේසිය මෙහෙය වූ ‘හෙරිටේජ් වෙන්දේසි’ සමාගම සඳහන් කළේ, දොරක් යැයි බොහෝ දෙනා වැරදියට සිතා සිටි, මීටර් 2.5ක් පමණ දිගින් සහ මීටර 1ක් පමණ පළලින් යුත් ලී කොටස, 1912 දී සැබෑ ‘ටයිටැනික්’ ව්‍යසනය දී ගොඩගත් කොටස් මත පදනම්ව නිර්මාණය කර ඇති බවයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 මාර්තු 2024 18:37

    Latest News