බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සූදානම් මෙහෙයුම් ඉහළ කාර්යක්ෂමතාවකින්

නොවැ 11, 2021

    2022 බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පූර්ව සූදානම් මෙහෙයුම් ඉහළ කාර්යක්ෂමතාවකින් යුතුව මේ දිනවල ක්‍රියාත්මකයි. සැපයුම් සේවාවන්හි අධිගුණාත්මක භාවයක් රඳවා ගැනීම බලධාරීන්ගේ අරමුණ වී තිබේ.

    මේ යටතේ හිම ඉසව්වල ප්‍රධාන තරග බිමක් වන චොංජියාකෝ (Zhangjiakou)තරග කලාපයේ සැපයුම් සේවා ගොඩනැංවීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ. උළෙල නිල වශයෙන් ආරම්භ වන්නේ 2022 පෙබරවාරි 04 වැනිදායි.

    ebd8d0f4 ceaa 4b11 ba22 0d2c89e89d43

    ක්‍රීඩා උළෙලේ ප්‍රධාන තරග ස්ථාන වන, ජාතික ස්කී පැනීමේ මධ්‍යස්ථානය, ස්කී උද්‍යානය සහ ශීත ඔලිම්පික් ගම්මානය Zhangjiakou කලාපයේ පිහිටා ඇත. මේ වන විට එහි ඔලිම්පික් ව්‍යාපෘති 76ක ඉදිකිරීම් සම්පූර්ණයෙන් නිමා වී තිබේ. පරීක්ෂණ තරග මාලාවක් සහ ජාත්‍යන්තර පුහුණු සතිය මේ මස අගභාගයේ සිට මෙම කලාපයේ දී පැවැත්වීමට නියමිතයි.

    ක්‍රීඩා උළෙල අතරතුර Zhangjiakou කලාපයේ සමස්ත තරග බිම් සඳහා 100%ක පූර්ණ හරිත බල සැපයුමක් ලබාදෙනු ඇත. වසංගත වැළැක්වීම හා පාලනය සම්බන්ධීකරණය සඳහාද පරිපූර්ණ සැළැස්මක් සකස් කර තිබේ.

    මේ යටතේ, ක්‍රීඩකයන් සඳහා සංවෘත ජෛව බුබුළු ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ගේ සුවපහසු පැවැත්ම සඳහා බැංකු, තැපැල්, වියළි පවිත්‍රකරණ සේවා සහ අධිපහසුකම් සහිත වෙළෙඳසැල් වැනි පාරිභෝගික සේවා රැසක් Zhangjiakou ශීත ඔලිම්පික් ගම්මානයේ ස්ථාපනය කෙරේ.

    972fa0c3 fe68 4803 a3ad 5b920c60d45d

    මේ අතර බෙයිජිංහි ඉදිකර ඇති ඇතැම් තරග පරිශ්‍ර පසුගියදා හිමෙන් වැසී ගොස් තිබිණ. මෙවර බෙයිජිං නගරයට මුල් හිම පතනය සිදුවූයේ වෙනත් වසරවලට වඩා කලිනි. හිම ඉවත්කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාවට නැංවූ බව බලධාරීහු කියා සිටිති. කෙසේ වෙතත්, මෙය ලොවපුරා ක්‍රීඩකයන්ට කල්තියාම සිදු කෙරුණු ඇරයුමක් බඳුය.

     

    අරෝෂා සමරදිවාකර
    රූපවාහිනී වාර්තාකරු (චීනයේ බෙයිජිං නුවර සිට)

    Last modified on බ්‍රහස්පතින්දා, 11 නොවැම්බර් 2021 15:33

    Latest News