ටෙස්ලා සාදන නව මිනිස් රොබෝ

අගෝ 20, 2021

    කෘතීම බුද්ධියෙන් ස්වයංක්‍රීයව රථ වාහන ධාවනය සාර්ථක කරගත් ටෙස්ලා සමාගම නව මානව රොබෝවරයෙකු හඳුන්වාදීමට සූදානම් වෙයි.

    මිනිසෙකුට බොහෝ සමානකම් ඇති ප්‍රථම අවධිය සහිත රොබෝවරයා ලබන වසරේ එළිදැක්වීමටයි,සමාගම සැලසුම් කර ඇත්තේ. ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලන් මස්ක් නව රොබෝ තාක්ෂණ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍යය හමුවක් පසුගියදා පවත්වා තිබිණ.

    කෘතීම බුද්ධිය සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති දැනුම හා නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ඔහු එහි දී පැහැදිලි කර තිබිණ. සමාගම සතු ලොව ඉහළම තාක්ෂණික ක්‍රමවේදවලට අනූව නිෂ්පාදනය වන බැටරි තාක්ෂණය ද නව රොබෝවරයා නිෂ්පාදනයට උපයෝගී වූ බවයි ඔහු කියා සිටියේ.

    නව රොබෝ මිනිසාහට පැයට කිලෝමීටර 4ක වේගයෙන් දිවීමේ හැකියාව පවතියි. අඩි 5 අඟල් 8ක උසකින් යුත් රොබෝවරුන් නිෂ්පාදනයටයි, සමාගම බලාපොරොත්තු වන්නේ.

    රොබෝ මිනිසාහට කැමරා 6ක් සවිකර ඇති අතර අවශ්‍ය දත්ත හා තොරතුරු දැක්වීමට මුහුණ ප්‍රදේශයේ ඩිජිටල් තිරයක් ආකාරයට සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

    සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස කතාබහ කිරීමට හැකිවන ලෙස මෙම රොබෝ මිනිසා, මිනිසා වෙත හඳුන්වා දීමට බලාපොරොත්තු වන බවයි, මක්ස් පවසා ඇත්තේ.

    Latest News