2021 රූපවාහිනී රූ කුමරිය ලෙස 'කව්මිනි තත්සරණි' අභිෂේක ලබයි

අප්‍රේ 15, 2021

    2021 රූපවාහිනී රූ කුමරිය ලෙස අභිෂේක බැලීමට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ කව්මිනි තත්සරණි සමත් විය.

    රූ කුමරිය තේරීමේ අවසන් මහා තරගය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ තුන් වැනි මැදිරියේ දී ඊයේ පැවැත්විණ. රූ කිරුළ 2021 තරගය සඳහා ඉදිරිපත් වූ රූමතියන් දස දහසක් අතරින් අවසන් මහා තරගයට නව දෙනෙක් සුදුසුකම් ලැබීය. ඔවුන් වෙනුවෙන් පෙබරවාරි මාසයේ සිට පෞර්ශත්වය,මානසික සංවර්ධනය,නර්ථනය හා ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම වැඩි දියුණු කිරීම සඳහා පුහුණු සැසි පැවැත්විණ.

    තරගය පැවැත්වුණේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්. අවසන් මහා තරගයට අමතරව, අනු තරග අටක් යටතේ ජයග්‍රාහිකාවන් තෝරා ගනු ලැබීය.

    ජාත්‍යන්තර හා ජාතික රූ රැජින තරග නිර්මාණ අධ්‍යක්ෂ ලෝ චින් වොං, ප්‍රවීන නර්ථනවේදී ආචාර්ය චන්න විජේවර්ධන, ප්‍රවීන රංගනවේදී යශෝධා විමලධර්ම, 2005 වසරේ ශ්‍රී ලංකා රූ රැජින රෝසෑන් ඩයස්, 2016 වසරේ විවාහක ශ්‍රී ලංකා රූ රැජින උදාරි පෙරේරා, ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර හා මැලිබන් බිස්කට් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකාරිනී කුෂානි පීරිස් යන මහත්ම මහත්මීන් විනිශ්චය මණ්ඩලය ලෙස ක්‍රියා කළේය.

    රූ කිරුළ තරගයේ ජනප්‍රියතම කුමරිය ලෙස වැඩිම එස් එම් එස් මනාපයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඉමේෂා සත්සරණි ජයග්‍රහණය කළේය. රූ කිරුළ 2021 තරගයේ තුන්වැනි ස්ථානය හිමිකරගනු ලැබුවේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කළ මල්කි දුලාංජලී විසින්. දෙවැනි ස්ථානය මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළ මිෂාරා සූරියආරච්චි දිනාගත්තා.

    රූ කිරුළ 2021 තරගයේ රූ කුමරිය ලෙස රන් කිරුණ දිනාගත් කවිමිනී තත්සරණි ට කිරුළ පළදවනු ලැබුවේ, 2019 වසරේ රූ කුමරිය ලෙස ජයග්‍රහණය කළ ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොසෙල් මෙනවිය විසින්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රසන්න හෙන්නායක, මංජුල මාකුඹුර යන මහත්වරුන් හා අනුග්‍රාහක භවතුන් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය මීට එක්ව සිටියේය.

    Latest News